අමා එච්. වන්නිආරච්චි
(Ceylon Today Echo හි 2020 ජනවාරි 31 ඉරිදා දින පළ වූ කතෘ විසින්ම රචිත Giving Life to Cultural Heritage ලිපියේ සිංහල අනුවර්තනය.) ඉහළ විවිධත්වයකින් යුතු අස්පර්ෂිත උරුමයක මෙන්ම දිවයින පුරා විසිරී ඇති අතිවිශාල ස්පර්ශිත උරුමයකද අයිතිකරුවන් වීමට තරම් අප භාග්‍යසම්පන්න වී ඇත. ඈත අතීතයේ මෙම උරුමය බිහි කළ 'සංස්කෘතිය' තවමත් ජීවමාන බැවින්ද, මෙම උරුමයේ නිර්මාතෘවරුන්ගෙන් පැවත එන්නන් තවමත් දිවයිනේ වාසය කරන බැවින්ද ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය 'ජීවමාන උරුමයක්' ලෙසට සැලකෙන්නේය. ඒ නයින් බලනකල දිවයිනේ දක්නට ඇති පුරා ස්ථාන සහ ස්මාරක යනු හුදෙක් අප්‍රාණික වස්තූන් නොව තවමත් ජීවමාන වූ පොහොසත් උරුමයක කේන්ද්‍රස්ථානයන්ය. එම නිසා මෙම ස්ථාන ගඩොල් හා ගල් වලින් සාදන ලද හුදු ස්මාරක ලෙසට පමණක් සැලකීම කෙතරම් සාධාරණද? අස්පර්ෂිත හා අධ්‍යාත්මික වටිනාකම් පද්ධති වලින් වියුක්ත කොට කොට ඒවා පණ නැති වස්තූන් බවට පත් කිරීම කෙතරම් සාධාරණද? අද වන විට ජගත් පුරාවිද්‍යාව දේශීය විඥානයේ ස්පර්ශය හා මුසු වෙමින් නවමු උරුම කළමනාකරණ පද්ධතියක් කරා ගමන් කරමින් සිටියි. ඔවුන් සදාචාර විරෝධී යැයි සිතමින් සොහොන් ගෙවල් වල සතපා සිටින මළවුන්ගේ සදාකාලික නින්දට බාධා නොකර සිටීමට වගබලා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින අතර, අපි තවමත් මියගියවුන් ඔවුන්ගේ සුසානයන්ගෙන් හාරා එලියට ගෙන ඔවුන් වීදුරැ පෙට්ටි වල තැන්පත් කරන්නෙමු. ලෝක පුරාවිද්‍යාව ආචාරධර්ම ගැන වැඩි සැලකිල්ලක් දක්වමින් ස්වදේශිකයන්ගේ ආගමික පිළිවෙත් හා විශ්වාසයන් කෙරෙහි සංවේදී වෙමින් සිටියද, අප තවමත් පුරාණ බෞද්ධ ස්ථූප අනුකම්පා විරහිත ලෙස හාරමින් ඒවායේ තැන්පත් පූජනිය ධාතුන් වහන්සේලා ඉවත් කර ඒවා අවතැන් කරමින් සිටින්නෙමුද? අපගේ පුරාණ අගනගර වන අනුරාධපුරය, පොළොන්නරුව සහ සීගිරිය ආදී ස්ථාන යටත් විජිත සමයේදී ‘නැවත සොයා ගන්නා ලද’ විට මෙම ස්ථාන වන ප්‍රවාහය විසින් ගිල ගෙන තිබුණි. ශ්‍රී ලංකාවේ මෙවැනි සොයාගැනීම් සිදු වන කාලයේදී බටහිර ලෝකය තුළ පුරාවිද්‍යාව ජනප්‍රිය වූයේ ‘ධනවතාගේ විනෝදාංශය’ (rich man’s hobby) ලෙසය. ඒ එම විෂය තුළ තිබූ වික්‍රමාන්විත, ආකර්ෂණීය ස්වභාවය නිසාමය. එසේම, ‘බටහිර පුරාවිද්‍යාව’ වූ කලී ‘නිධන් හෑරීමේ’ කර්තව්‍යය සඳහා වඩාත් පිරිපහදු කළ හා සුසර කළ වචනයකි. එබැවින්, ශ්‍රී ලංකාවේ නටබුන් වූ පුරාණ අගනගරයන් දෙස යටත් විජිත සමයේ මෙහි සිටි සිවිල් සේවකයින් බැලුවේ හුදු සිත් ඇදගන්නාසුළු, අද්භූතජනක හා පුදුමාකාර ස්ථාන ලෙසටය. නමුත්, ඒවා තවමත් ස්වදේශිකයන්ට සිය මුතුන්මිත්තන් විසින් ඉදි කරන ලද පූජනීය ස්ථාන විය. දෙපාර්ශවය අතර කිසියම් මතභේදයක් මෙලෙස ආරම්භ වූ අතර, වඩාත් බලවත් හා මූල්‍යමය වශයෙන් තිරසාර වූ පක්ෂයවූ යටත් විජිත සමයේ සිවිල් සේවකයන්ගේ පක්ෂය අනෙක් පාර්ශවය (ස්වදේශිකයන්) අභිබවා ජය ගත්තේය. මේ නිසා අප තවමත් මෙම පුරාණ ස්ථාන දෙස බලන්නේ හුදු ස්මාරක හා ස්ථාන ලෙස මිස ජීවමාන උරුමයක් ඇති ස්ථාන ලෙසට නොවේ. මේ ආකල්පය නිසාම තවමත් අපට ජේතවනාරාමය සුදු හුණු ගෑම සහ බෞද්ධ බැතිමතුන් අතින් පුද පූජාවන්ට පාත්‍ර වීම යන අදහස තරමක නොගැළපෙන දෙයක් ලෙසට සිතෙන්නේය. මහා ස්ථූපයේ (රුවන්වැලිසෑය) ප්‍රතිසංස්කරණ කටයුතු පවා බොහෝ විරෝධතා හා විවේචන මධ්‍යයේ සිදු කරන ලද්දකි. මීට වසර 23 කට පෙර (1998 ජනවාරි 25) ශ්‍රී ලංකාවේ වඩාත්ම පූජනීය බෞද්ධ සිද්ධස්ථානය වන දළදා මාළිගාවට බෝම්බ හෙලූ විට, ප්‍රතිසංස්කරණ කටයුතු සහ නව ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් ද ඒ හා සමාන නමුත් එයට වඩා මදක් ලිහිල් මට්ටමේ විවේචනය සහ විරෝධතා එල්ල විය. එබැවින් මේ පිළිබඳව වැඩි දුර තොරතුරු දැනගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ අධ්‍යක්ෂක ලෙස සංරක්ෂණ කටයුතු භාරව සිටි ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥ ආචාර්ය ගාමිණි විජේසූරිය මහතා සම්බන්ධ කර ගත්තෙමු. ඔහු දැනට රෝමයේ ICCROM හි අධ්යක්ෂ ජනරාල්ගේ විශේෂ උපදේශක ලෙසත්, චීනයේ ෂැංහයි හි WHITRAP හි අධ්යක්ෂ ජනරාල්ගේ විශේෂ උපදේශක ලෙසත්, ශ්‍රී ලංකාවේ ICOMOS හි ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙසත් සේවය කරන්නේය. ශ්‍රී ලංකාවේ ජීවමාන සංස්කෘතික උරුමය “ජීවමාන සංස්කෘතික උරුමයක් ඒවා ඉදි කරන ලද මුල් කාර්යයේ අඛණ්ඩතාව හෝ ඒවා මුලින් පිහිටුවන ලද අරමුණ මගින් හඳුනා ගැනේ. එවැනි උරුමයන් ප්‍රජා සම්බන්ධතාවල අඛණ්ඩතාව පවත්වා ගෙන යන අතර එය ස්පර්ශිත හා අස්පර්ශිත ප්‍රකාශන ස්වරූපයෙන් අඛණ්ඩව විකාශනය වෙමින් පවතින අතර සාම්ප්‍රදායික හෝ ස්ථාපිත ක්‍රම මගින් රැකබලා ගනු ලැබේ. මෙයින් අදහස් කරන්නේ ජීවමාන උරුමය ප්‍රජාවක් (මූලික ප්‍රජාව) සමඟ දැඩි ලෙස බැඳී ඇති බවත් ඒවායේ වෙනස් වීමේ සොබාවයද තේරුම් ගන්නා බවත්ය.” ආචාර්ය විජේසූරිය මහතා පැහැදිලි කළේය. සමහර ගොඩනැගිලි හා ස්මාරකවල භාවිතාව කාලයත් සමඟ වෙනස් වේ. නමුත් එසේ කාලයත් සමඟ කල් ඉකුත් නොවන සමහර ස්ථාන තිබේ. ශ්‍රී ලංකාවේ ඇති පැරණි විහාරස්ථාන වල එවැනි වෙනස් නොවන උපයෝගිතා සහ වටිනාකම් පවතින්නේය. උරුමය ආරක්ෂා කළ යුත්තේ ඇයි? ආචාර්ය විජේසූරිය මහතා පවසන පරිදි සංස්කෘතික ස්මාරක යනු අපගේ උරුමය සහ අනන්‍යතාවයයි. “ඒ ස්මාරක අපට අපගේ අනන්‍යතාවය ගැන හෙළි කරන්නේය. අපි උරුමය තුළින් බොහෝ දේ ඉගෙන ගන්නෙමු. උරුමයේ වැදගත්ම අංගය වන්නේ එය වර්තමානය උදෙසාත්, අපගේ අධ්‍යාත්මික හා සමාජීය අරමුණු සඳහාත් යොදා ගැනීමයි. එය අපගේ සමස්ත ශ්‍රී ලංකා ශිෂ්ටාචාරයේ පිළිබිඹුවකි. සංස්කෘතික උරුමය සමාජයට සහ තිරසාර සංවර්ධනයට දායක කර ගත යුතුය. ” පැරණි ගොඩනැගිලි සංරක්ෂණය කිරීමේ දේශීය උරුමය පුරාණ රජවරු අනුරාධපුර සහ පොළොන්නරුව සහ වෙනත් ස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු කළහ. මෙම ප්‍රතිසංස්කරණයන් වූයේ ඒවායේ ප්‍රධාන අරමුණු වූ ආගමික වාතාවරණයක් පවත්වා ගැනීම සඳහා ඒවායේ මුල් සොබාවයට ඒවා නැවත පත් කිරීමයි. කෙසේ වෙතත්, අද අපගේ සංරක්ෂණ කටයුතු මෙම ස්ථාන නැවත ඒවායේ මුල් තත්වයට ගෙන ඒම අරමුණු කරගෙන නැත. ආචාර්ය විජේසූරිය මහතා ප්‍රකාශ කළේ පැරණි ගොඩනැගිලි සංරක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් අප සතුවූ බවයි. “පරාක්‍රමබාහු රජතුමා හට ප්‍රතිසංස්කරණ කටයුතු භාර ඇමතිවරයෙක් සිටියා” “පොළොන්නරුව අගනුවර ලෙස තෝරා ගැනීමෙන් පසුව වුවත්, අනුරාධපුරය දිගටම පූජනීය හා වැදගත් නගරයක් ලෙසටම පැවතිණි. එබැවින් ඒවායේ ප්‍රතිසංස්කරණ වැඩ භාරව සිටි අමාත්‍යවරයෙක් සිටියේය. නිස්සංකමල්ල රජුගේ කාලය තුළ ප්‍රතිසංස්කරණය භාර නිලධාරියෙකු සිටි අතර ඔහුගේ තනතුර ලොක්-අරක්මේනා ලෙස සඳහන් වේ.”, ආචාර්ය විජේසූරිය මහතා සඳහන් කළේය. “පුරාණ ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලවල් ගැන කතා කරන සාහිත්‍යයක් ද අප සතුව ඇත. ජේතවනාරාම සෙල්ලිපියේ සඳහන් වන්නේ සංරක්ෂණ කටයුතු වල නියැලෙන පුද්ගලයින් වෙනුවෙන් කැප වූ මුළු ගමක් පිළිබඳයි. මෙම සෙල්ලිපියේ ඔවුන්ගේ වැඩ සහ වැටුප් පිළිබඳ විස්තර ඇතුළත් වේ. අපට සම්ප්රදායයක් තිබුණා. බෞද්ධ භික්ෂූන් වහන්සේලා එම සම්ප්රදායයේ නායකයෝ වූහ.” ආචාර්ය විජේසූරිය මහතා පැහැදිලි කළේය. අප අපගේ සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය නොකරන්නේ ඇයි? අපගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ආචාර්ය විජේසූරිය පැවසුවේ 19 වන සියවසේ මැද භාගයේදී නූතන සංරක්ෂණ දැනුම පිළිබඳව අපට උගන්වන විට මෙම ව්‍යාපාරය යුරෝපයේ සිදුවන ආගමික පුනර්ජීවනයට එරෙහිව ගොඩනැගෙමින් පැවති එකක් බවයි. මෙම නව දැනුම අප වෙත හඳුන්වා දෙමින් සිටියදී, අපගේ පුරාණ ආගමික ගොඩනැගිලි සමහරක් ඒවායේ මුල් ස්වරූපයට සහ යථා තත්ත්වයට පත් වෙමින් තිබුණි. එවිට ‘නටබුන්’ විනාශ කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වූ අතර ඒවා හැඳින්වූයේ ‘දැහැමි විනාශයන්’ ලෙසිනි. නූතන සංරක්ෂණ ක්‍රියාවලිය සෞන්දර්යාත්මක හා ඓතිහාසික පැතිකඩ කෙරෙහි පමණක් අවධානය යොමු කළේය. එබැවින් ආගමික වටිනාකම නොසලකා හරින ලදි.” “අපට සිදු වුණ වැරදීම නම්, මෙම දැනුම සහ ක්‍රමවේද අපර ලැබුණු වහාම අප එය සම්පුර්ණයෙන්ම අනුගමනය කිරීමයි. අප සතුව තිබූ සම්ප්‍රදායික සංරක්ෂණ ක්‍රමවේද පද්ධතිය දෙස බැලීමට අපි කිසි විටෙකත් කාලය ගත්තේ නැත. මෙය අප රටේ පමණක් නොව සමකාලීනව ලෝකය තුළම සිදු වූ දෙයක්. සංරක්ෂණය දැන් හඳුන්වන්නේ ‘කළමනාකරණ අඛණ්ඩතාව’ ලෙසයි.” ආචාර්ය විජේසූරිය මහතා පැහැදිලි කළේය. සාම්ප්‍රදායික දැනුම් ක්රමයේ වැදගත්කම ගැන අප්‍රිකාව කතා කිරීමට පටන් ගත්තේය. එය මුලින්ම කළේ ඔවුන්ය. ඒ මත පදනම්ව, ICCROM වැනි සංවිධාන යෝජනා කළේ අප විසින් භාවිතා කළ යුතු සම්ප්‍රදායික දැනම් පද්ධති ඇති බවයි. එබැවින් 2005 සිට විශේෂයෙන් ලෝක උරුමයන් කළමනාකරණය කිරීමේදී යුනෙස්කෝව සාම්ප්‍රදායික දැනුම් පද්ධති පිළිගෙන එය ඔවුන්ගේ මෙහෙයුම් මාර්ගෝපදේශ වලට ඇතුළත් කළේය. ඒ අනුව දැන් සාම්ප්‍රදායික දැනුම් පද්ධතිවල සහාය ඇතිව ලෝක උරුම අඩවි (WHS) කළමනාකරණය කරනු ලැබේ. මෙය කොහොමටත් ජපානය වැනි රටවල ජාතික මට්ටමින් පැවතුණි. නමුත් ගෝලීය පිළිගැනීම ලැබුණේ 2005 න් පසුවයි. අපි 2000 සිට පමණ මේ ගැන අවධානය යොමු කළෙමු. එබැවින් දැන් අපට ඒ ගැන කතා කිරීමට අවස්ථාව තිබේ. ජාත්‍යන්තර මූලධර්ම ඉවතලන්නැයි අපි නොකියමු. චීනය, ඉන්දුනීසියාව සහ නවසීලන්තය වැනි රටවල දැන් සිදුවෙමින් පවතින ආකාරයට අපේම සංරක්ෂණ වැඩපිළිවෙලක් අප අනුගමනය කළ යුතුයි. ” ඇයි අප තවමත් මැළි වන්නේ? “අපි සම්පූර්ණ බටහිර නිෂ්පාදන” යැයි ආචාර්ය විජේසූරිය මහතා පැවසීය. “අපි හැමෝම දශක ගණනාවක් තිස්සේ එම බටහිර දැනුම් ක්රමයේ ගිලී සිටියෙමු. අපි උත්සාහයක් ගෙන නැහැ එයින් මිදීමට හෝ දේශීය ක්‍රමවේදයක් කරා යෑමට හෝ. ” ආකල්ප වෙනස් කිරීම “සම්ප්‍රදායන් වූ කලී ස්ථිතික නොවන්නේය. ඒවායේ සොබාවය ගතිකය. මෙම සම්ප්‍රදායන් නූතන සන්දර්භයට ඇතුළත් කළ යුතුය.” ආචාර්ය විජේසූරිය මහතා පැවසීය. “උරුම ස්ථානවල වටිනාකම් සාමූහිකව තක්සේරු කළ යුතුයි. එය ආගමික බලධාරීන්, අදාළ ප්‍රජා කණ්ඩායම් සහ බලධාරීන් සමඟ සාමූහිකව කළ යුතුය. තවමත් යටත් විජිතකරණයව පවතින බොහෝ දේ එයින් වියුක්ත කිරීම සඳහා අපට බොහෝ දේ කළ යුතුව ඇත. ” ලෝක උරුම ස්ථාන මීට වසර 23 කට පෙර දළදා මාළිගාවට බෝම්බ හෙලූ විට ලෝක උරුම අඩවියක් ලෙස නම් කොට තිබීමම එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා උපකාර වූවාද? දළදා මාළිගාවේ ප්‍රතිසංස්කරණ කටයුතු වල ප්‍රධාන භූමිකාවක් ඉටු කළ ආචාර්ය විජේසූරියගෙන් අපි මේ පිළිබඳව විමසුවෙමු. පෞරාණික ස්ථානයක් ලෝක උරුම ස්ථානයක් ලෙස ලැයිස්තුගත කර ඇති විට එයින් ලැබෙන ප්රතිලාභ මොනවාදැයි දැන ගැනීමට අපට අවශ්‍ය විය. “ලෝක උරුමය යනු ස්වාභාවික නිරමාණ හා මිනිසා විසින් සාදන ලද, විශිෂ්ට විශ්වීය වටිනාකම් සහිත ස්ථාන ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිළිගැනීමයි. ස්ථානයක් ලෝක උරුම ස්ථානයක් ලෙස ලැයිස්තුගත කර ඇති විට, එය ලෝක සිතියමේ ස්ථානගත කරන අතර, එයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබේ. ඒ ස්ථානයට මුළු ලෝකයේම අවධානය ලැබේ. හදිසි අරමුදල්, තාක්ෂණික උපදෙස් සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ උපකාර ලබා ගැනීම වැනි ජාත්‍යන්තර සහාය එවිට ඇත. එවැනි ස්ථාන ආරක්ෂා කිරීමේ වගකීම ඒ ඒ රජයන් සතු වන නමුත් අදාළ ප්‍රතිපත්ති / තීරණ ගන්නන්, වෘත්තිකයන්, ප්‍රජාවන් සහ ජාලයන් සම්බන්ධ කර ගැනීමද තරයේ නිර්දේශ කරයි. කිසියම් ස්ථානයක් ලෝක උරුම ස්ථානයක් ලෙස ලැයිස්තුගත කර ඇති විට ඇති විට මහජනතාවට පවා යුනෙස්කෝවට ඍජුවම පැමිණිලි කළ හැකිය; මෙය ප්‍රබලම වාසියකි. දළදා මාළිගාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අපට අවශ්‍ය සියල්ලම රට තුළින්ම සපයා ගත හැකි වූ බැවින් යුනෙස්කෝවේ සහාය අවශ්‍ය නොවීය.” ආචාර්ය විජේසූරිය මහතා පැහැදිලි කළේය. අප රටේ පැවති තිස් වසරක යුද්ධයේ උච්චතම අවස්ථාවකදී සීගිරිය ඉදිරිපිට ගුවන් පථය පුළුල් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබූ බව ඔහු වැඩිදුරටත් පැවසීය. “මේ පිළිබඳව යුනෙස්කෝව දැනුවත් කළා. ඒ අනුව තත්ත්වය තක්සේරු කිරීම සඳහා ඔවුන් සීගිරියට විශේෂඥයන් කණ්ඩායමක් එවනු ලැබීය. විශේෂඥ මතය වූයේ ගුවන් පථය නිසා ඇති වන අල්ට්රා සවුන්ඩ් නිසා සීගිරියට දැඩි හානි සිදු විය හැකි බවයි. විශේෂඥ කණ්ඩායමේ අදහස මෙය වූ අතර යුනෙස්කෝව එය පිළිගත්තේය. මේ පිළිබඳව රජයට දැනුම් දුන් විට ඔවුහුද එය පිළිගෙන ගුවන් පථය ඉදිකිරීමේ අදහස අත්හැරියහ. ලෝක උරුම සම්මුතිය යටතේ, ලැයිස්තුවේ ඇති ස්ථාන සංරක්ෂණය කිරීමේ තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේ බලය යුනෙස්කෝවට ඇත. ” රුවන්වැලි සෑයේ සංරක්ෂණ කටයුතු වලට එරෙහිව ඇති චෝදනා ආචාර්ය විජේසූරිය මහතා කියා සිටියේ යටත් විජිත මානසිකත්වයෙන් පෙළෙන ඇතැම් පුරාවිද්‍යාඥයන් සහ සංරක්ෂකයන්ගෙන් මෙවැනි චෝදනා පැමිණ ඇති බවත්, ඔවුන් ලෝක පුරාවිද්‍යාවේ / උරුම කළමනාකරණයේ සිදු වන ප්රවණතාවයන් කෙරෙහි නිරාවරණය නොවී ඇති බවත්ය. “අනෙක් හේතුව නම් අපට ගැලපෙන උරුමය කුමක්ද යන්න පිළිබඳ අපගේම අවබෝධයක් සහ අර්ථ දැක්වීමක් අපට නොමැති වීමයි” ඔහු පැවසීය. “රුවන්වැලි සෑය නැවත ගොඩනැංවීම යනු නිවැරදි ප්රවේශයයි. පුරාණ සම්ප්රදායේ අඛණ්ඩ පැවැත්මක් තිබිය යුතුය,” ඔහු පැවසීය. “ එම සම්ප්රදාය ට අනුව ජේතවනාරාමය හෝ අභයගිරිය කිසිදා පවත්වා ගෙන යා නොහැකි වනු ඇත, ඒවා සම්පුරණයෙන් ගොඩනංවන තුරුම. ඇත්ත වශයෙන්ම මුදල් වැනි ප්‍රායෝගික ගැටළු තිබේ. නමුත් ස්තූපයක් යනු ගෞරවයට සහ පුද පූජාවන්ට පාත්‍ර වූ සහ විය යුතු ස්ථානයකි. ” ස්තූපයක් යනු වන්දනාමාන කළ යුතු වස්තුවක් වන අතර, හාරා දැමිය යුතු ස්ථානයක් නොවේ... “ස්තූපයක ධාතු ගර්භය හෑරීම ඉතාම නරක දෙයක් යැයි මට හැඟේ” යැයි ආචාර්ය විජේසූරිය මහතා අවධාරණය කළේය. “මිනිසුන් මේවට විරුද්ධ නොවීම පුදුමයකි. එසේ නොවන්නේ, උරුමය ආරක්ෂා කිරීම රජයේ පමණක් වගකීමය යන අදහස නිසාය. ඇත්ත වශයෙන්ම එසේ විය යුතු නැත; ඒවා මිනිසුන්ට අයත් වේ. ඇමරිකාවේ පෞරාණික සුසාන කැණීම වැළැක්වීමට නීතියක් තිබේ. දැන් ස්වදේශික ඇමරිකානුවන් ඉල්ලා සිටින්නේ පුරාවිද්‍යාඥයන් විසින් කැණීම් කරන ලද පෞරාණික ඇටසැකිලි 69,000 ක් නැවත භූමදාන කරන ලෙසයි. මෙවැනි උදාහරණ බොහොමයක් තිබේ.” “වරක් ලුම්බිණි හි දී සිද්ධාර්ථ කුමරු ඉපදුණු සල් ගසෙහි මූලය සොයා ගැනීම සඳහා කැණීම් කිරීමට යෝජනාවක් ඉදිරිපත් විය. එවිට, එසේ කැණීම් සිදු කොට සල් ගසේ මුල් සොයා නොගත්තොත් කුමක් වේද යන ප්රශ්නය මා මතු කළා. “ඒ අනුව ඔබ කියන්නට යන්නේ මෙය ලුම්බිණි නොවන බවද”, යනුවෙන් මම ප්‍රශ්න කළා. එය පූජනීය ස්ථානයකි, එබැවින් ඒවා වටා කිසියම් පූජනිය වූ අභිරහස් සොබවයක් තිබෙන්න හැරිය යුතුය.” “ස්තූප විනාශය ගැන නැවත කතා කළොත්, ඇත්ත වශයෙන්ම එවන් සිදුවීම් දැක මම කම්පාවට පත් වෙමි. වරක් පර්යේෂකයෙකු මිරිසවැටියේ නිධන් කොට ඇති දුටුගැමුණු රජතුමන්ගේ ජය කොන්තය හාරා බැලීමට යෝජනා කළේය. එවකට අධ්යක්ෂ ජනරාල්වරයා වූ රෝලන්ඩ් සිල්වා මහතා එම ක්‍රියාවට විරුද්ධ වූ අතර, මම ද එසේ කෙළෙමි. අපි එය සිදුවීමට ඉඩ දුන්නේ නැත. ධාතු ගර්භයක් හෑරීමට අයිතිය ඇත්තේ කාටද? එය පූජනීය ස්ථානයකි. අනෙක් අතට මේ ස්තුප තුළ ඇත්තේ කුමක්ද යන්න දැන ගැනීමට ඔබ කුතුහලයෙන් පිරී සිටී නම් නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය කළ හැකිය. ” “චේතියක් (ස්ථූපයක්) ජීවමාන බුදුන් ලෙස සැලකිය යුතුය. යමෙක් බුදුන් වහන්සේට දක්වන ගෞරවය හා ගෞරවය චේතියටද දැක්විය යුතුය. ” - ලක්දිව බුදු සමයේ ඉතිහාසය, මහාචාර්ය පූජ්‍ය වල්පොල රාහුල හිමි- එය ජනතාවගේ උරුමයයි… “අපි පෞරාණික ස්ථාන දෙස පරිපූර්ණ ආකාරයකින් සාමූහිකව හා විනිවිදභාවයෙන් බලන්නේ නැත. අනෙක් රටවල් සෑම උරුම ස්ථානයකටම වැදගත් ප්‍රකාශ (statements of significance) ලිවීමට පටන් ගෙන ඇත්තේ එබැවිනි. සියළුම සංරක්ෂණ තීරණ ගනු ලබන්නේ මෙම ප්‍රකාශය පදනම් කරගෙන ය. මම එය අපේ උරුම ඔප්පුව ලෙස හඳුන්වමි. පෞරාණික ස්ථානය වල සියලු විස්තර අඩංගු එවැනි උරුම ඔප්පු අපට තිබිය යුතුමය.” ආචාර්ය විජේසූරිය මහතා පැහැදිලි කළේය. “ගෝලීය උරුම ක්ෂේත්රයේ පරමාදර්ශී වෙනසක් සිදුවී ඇත්තේ උරුමය රැකබලා ගැනීමේ සිට සමස්තයක් වශයෙන් උරුමයේ සහ සමාජයේ යහපැවැත්ම උදෙසා ය. එම කතිකාවතේ හදවත විය යුත්තේ ජනතාවයි.” ආචාර්ය විජේසූරිය සඳහන් ක
0 Comments
Leave a Reply. |
AuthorArchaeology Ceylon is an online platform dedicated to spread the knowledge about Sri Lanka's history and archaeology, globally. Archives
May 2022
|